2019 වසරට පෙර ලබා ගන්නා ලද ජංගම දුරතකන සිම් කාඩ් මිලියනයට වැඩි ගණනකට ලියාපදිංචි හිමිකරුවෙකු නොමැති බව හඳුනාගෙන ඇති අතර ඒවා ලියාපදිංචියට හෝ අක්‍රීය කිරීමට මෙන් ම නව සිම් කාඩ් ලබා දීමේ දී පවතින නීතිය යාවත්කාලීන කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, 2019 වසරේ අගෝස්තු මස දෙවන දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
සිම් කාඩ් සම්බන්ධයෙන් හඳුන්වා දීමට සැරසෙන නව රෙගුලාසි පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතාගේ පැහැදිලි කිරීම මෙන්න.
හිමිකරු හඳුනා ගත නොහැකි සිම් මිලියනයක්
2019ට පෙර ග්‍රාහකයා හඳුනා ගැනීමට නොමැතිව සිම් කාඩ් නිකුත් කර ඇති බවත්, ඒ හරහා අනීතික ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති හෙයින් 2019 වසරේ සිම් පතක් නිකුත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.
"අපරාධවලට, අනීතික ව්‍යාපාරවලට, එක එක පුද්ගලයන්ගෙන් කප්පම් ගන්න වගේ වැඩවලට ජංගම දුරකතන පාවිච්චි කරනවා. ඒකෙදි අයිඩෙන්ටිටි එක කියන එක සිම් එකේ නේ තියෙන්නේ. ඔයාගේ නමට තියෙන සිම් එකකින් මම කාට හරි තර්ජනය කළොත් නම යන්නේ ඔයාගේ. ඔය වගේ ගැටලු විශාල සංඛ්‍යාවක් තියෙන හින්දා මේක අවශ්‍යතාවක් විදියට අදට ගැලපෙන විදියට හැම එකක් ම යාවත්කාලීන වෙන්න ඕනෙ. ඒ අනුව ගැටලු තියෙන ඔක්කෝම හඳුනාගෙන ගිය අවුරුද්දේ අලුතින් සිම් රෙජිස්ටේෂන් රෙගියුලේෂන් එකක්, 2019 හඳුන්වා දුන් එකට අමතරව ගැටලු හඳුනාගෙන ගැටලු නිරාකරණය වෙන විදියට රෙගියුලේෂන් එකක් හඳුන්වා දෙන්න කටයුතු කළා."
මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව අදාළ රෙගුලාසි යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වන බවත්, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගතහොත් පනත සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක වීම ආරම්භ වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.
"2019 ග්‍රාහක හඳුනා ගැනීම නැතිව මිලියන 2කට අධික සිම් කාඩ් පුද්ගලයන්ට දීලා තිබුණා. ඒ විදියට ආයතනවලට දීලා තිබුණා සිම් කාඩ් ලක්ෂ දෙකයි හැත්තෑ තුන්දාහක් වගේ. 2019 ගැසට් ඒක ගහලා ඔපරේටර්ස්ලට කිව්වා ඒ කස්ටර්මර්ස්ලා හඳුනාගෙන ඒ අයගේ ඩීටේල් ගන්න කියලා. ඒ අය උත්සහ කළා SMS යවලා අනන්‍යතාව තහවුරු කරන්න. ඊට අමතරව අපිත් එක්ක එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනුවත් කිරීම් කළා. එහෙම ඒවා කරලා 2025 වෙනකම් උත්සහ කරලා ඉස්සෙල්ලා හිටිය මිලියන 2.2 තිබ්බ ග්‍රහාකයා හඳුනා ගැනීමට නොහැකි කස්ටමර් බේස් එක මිලියනයක් දක්වා අඩු කරගෙන තියෙනවා."
නව රෙගුලාසි හරහා ග්‍රාහකයා හඳුනාගෙන නොමැති සිම් කඩ්පත් හිමියන් දැනුවත් කර යම් කාල සීමාවක් ලබා දී ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, එසේ එම කාලය තුළ ඊට අනුගත නොවන සිම් කාඩ් අක්‍රීය කිරීමට නීතිය බලාත්මක කරන බවත් විදුලි සංදේශක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
